Friday, July 21, 2017

ප්‍රේමයයි නොකියන්....



හැගීමක් නම් හිත තුලම ලෙන්ගතු
කතාවක් නම් නෙත් තුලම දොඩමළු
ප්‍රේමයයි නොකියන්..

මළ හිරුත් හැරගිය දම් පැහැය ගත්
කදුලටම ලෙන්ගතු
ප්‍රේමයයි නොකියන් ....

යලිත් කිසිදින හමුනොවන නෙත්
තුලම රදවා රකිනු රහසින්
මියෙන මොහොතෙත්
නෙත් පියන් තුළ
තබා සුරැකිව රැගෙන යනු මැන
නුඹත් මමවත් තවත් නොහදුනන
එය
ප්‍රේමයයි නොකියන්....

වැරදි ඇමතුම

වැරදි නම්බරයක් වුනත්
මං හිතුවෙ හරිම ඇමතුම කියලා
කවුරුත්ම නැති හිතට
එබි එබී නුඹ කීවෙ
කින්නත් ආසයි කියලා 
ඒකමයි මං නෙළුම්පොකුණෙන් බැස්සේ

එකම පාරක වුනත්
අපි ඇවිද්දෙ හරි දුරින්
හීනියට වැටුණු හිරිවැස්සේ
මං හෙව්වේ උඹේ අඩි විතරමයි
පාදපරිචාරිකාව වෙන්නමයි
හිතුවෙ මං
දිගම දිග සායෙ මඩ ඉහුණු වගක්
දැනුනෙ නෑ ඒ හින්දාම

අහන්නට උන්න හැමදේම
ඔය දෙතොල් අස්සෙ හිරවෙද්දි
මං හෙව්වේ උඹේ ඇස්
දැකගන්න ආදරේ
මට බැරි වුනෙත් ඒකමයි

අන්තිමේදි නුඹ කීවේ
ඔයා යන්න මං එන්නම් කියලා
පාර දිගටම හැරි හැරී
උඹේ රූපය හොයද්දියි
දැක්කෙ නෙළුම්පොකුණ
සුවද නැති මල්
පරවෙලා පාර දිගටම
හංසයොත් තරහින්
බිම බලා ගෙන

ආයෙමත් වැරදි ඇමතුම
නුඹ ඇහුවෙ
පාර හරියට හොයා ගත්තද කියලා
කොහොමද මං කියන්නෙ
වැරදුණු තැන් බොහෝමයි කියලා